Tuesday, May 14, 2024

General line - 0115112241

බිලියන 695ක පිරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට




පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට යළි රැස්වනවා. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව අද විවාදයට ගැනීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදියි. 

මෙම වසරේ දී  ආර්ථිකයේ ඇති වූ අයහපත් තත්ත්වයන් හේතුවෙන් පීඩනයට පත් වූ සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමට සහ උද්ධමනය හේතුවෙන් සැපයුම්වල වියදම් ඉහළ යාම් ආවරණය කිරීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා. 

පරිපූරක ඇස්තමේන්තුවට අදාළ රු බිලියන 695 ක මුදලින් රුපියල් බිලියන 395 ක් පුනරාවර්තන වියදම් වන අතර රුපියල් බිලියන 300 ක් මූලධන වියදම් වනවා. 

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලබන රුපියල් 5,000 ක මාසික දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 87,000 ක මුදලක්ද,  විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් 5000 ක මාසික දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 40,000 ක් ද  සමෘද්ධිලාභීන්ට ගෙවනු ලබන රුපියල් 1000 ක අමතර දීමනාව තවදුරටත් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000 ක මුදලක් ද මෙම ඇස්මේන්තුව මගින් වෙන් කර තිබෙනවා. 

බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ප්‍රතිපාදන ලෙස  රුපියල් මිලියන 50,000 ක මුදලක් ද,  හරිත කෘෂිකර්මාන්තයේ යෙදවුම් භාවිතා කිරීම වෙනුවෙන් ඇගයීම් දිරිගැන්වීම් සඳහා රුපියල් මිලියන 12,000 ක මුදලක් ද, පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 50,000 ක මුදලක්ද පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.  

මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආරක්ෂක අංශ, රෝහල් හා බන්ධනාගාරය වැනි ආයතනවල ආහාර හා අනෙකුත් සැපයීම්වල ඇති විය හැකි හිඟ ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් මිලියන 25,000 ක්ද, මිල ඉහළ යාම හේතුවෙන් ගෙවීමට සිදුවිය හැකි වෙනත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 4,500 ක්ද, ණය පොලී ගෙවීම් සදහා රුපියල් බිලියන 21, 500 ක්ද මේ අතර වනවා.

රුපියල් බිලියන 695 ක මුදලක් ඇස්තමේන්තු ගත කළද අත්‍යාවශ්‍ය වියදම් හැර අනෙකුත් සියලු වියදම් අවම කරමින් රුපියල් බිලියන 300කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රජයේ මුදල් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.