Sunday, May 12, 2024

General line - 0115112241

පළමු විස්සයි විස්ස ගැටුමෙන් ඔස්ට්‍රේලියාවට කඩුළු 10 ක ජයක්




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය කඩුළු 10 කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. 

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති එම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච්, පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 03 ක් තුළ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණයි. 

චරිත් අසලංක ලකුණු 38 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුවුණා. පැතුම් නිස්සංක ලකුණු 36 යි. ධනුෂ්ක ගුණතිලක පන්දු 15 කට මුහුණ දෙමින් ලකුණු 26 ක් රැස් කළා. ඊට හතරේ පහර 03 ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත්. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 18 සීමාව ඉක්මවා යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. පන්දු යැවීමේදී ජෝස් හැස්ල්වුඩ් කඩුළු 4 ක් සහ මිචෙල් ස්ටක් කඩුළු 03 ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වන ලකුණු 129 පසුකර ගියේ පන්දුවාර 14 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 134 ක් ලබාගනිමින්.

පන්දු 44 කදී නොදැවී ලකුණු 70 ක් රැස්කිරීමට ඩේවිඩ් වෝනර් සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 09 ක් ඇතුළත්. නායක ඒරෝන් ෆින්ච්, පන්දු 40 ක් තුළ නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. ඔහුගේ ඉනිම හතරේ පහර 04 කින් සහ හයේ පහර 04 කින් වර්ණවත් වුණා. 

නොදැවී ලකුණු 61 ක් රැස්කර, ප්‍රතිවාදී පිළේ කඩුළු 04 ක් ද බිඳහෙළු ජෝස් හැස්ල්වුඩ් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. 

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20  යි 20 තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩංගනයේදී අද පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාත්‍රී 07 ටයි.