Monday, May 13, 2024

General line - 0115112241

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි




කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද වරෙන්තු නිකුත් කළා. ඒ, එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සැකකරු තමන් පදිංචිව සිටි නිවාස මග හැර සැගවී සිටින බවයි. 

පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පදිංචිව සිටි වැල්ලවත්ත, වත්තල, බත්තරමුල්ල, නුගේගොඩ සහ උඩහමුල්ල යන ප්‍රදේශවල පිහිටි නිවාස පරීක්ෂාවට ලක්කළ බවත්, එහෙත්  මෙම සැකකරු එහි නොසිටි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා. 

විමර්ශන කණ්ඩායම් මගහරිමින් සැගවී සිටින මෙම සැකකරු නීතියට කට්ටි පනිමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි ඇය අධිකරණය හමුවේ සඳහන් කළේ. 

එබැවින් නීතිය මගහරිමින්  සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි සෑහීමකට පත්වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළා.

මේ අතර  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනකු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් අධිකරණය අද නියෝග කළා. 

කෙසේවෙතත්  පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මෙන්ම ඩෑන් ප්‍රියසාද් ද ඇතුළුව සැකකරුවන් 04 දෙනෙකු ලබන 15 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය අද නියෝග කළේ.