Wednesday, November 27, 2024

General line - 0115112241

සිංහ කැන්ගරු පළමු එක්දින ගැටුමේ ජය ඕස්ට්‍රේලියාවට




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය යටතේ කඩුලු දෙකකින් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 87 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 86 ක්. ඊට හතරේ පහර 08 ක් සහ එක් හයේ පහරක් අයත්.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිස පැතුම් නිස්සංක ලකුණු 56 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 55 ක් රැස් කිරීමට සමත් වුණා. ඔවුන් දෙදෙනා අතර පළමු කඬුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබඳතාව ලකුණු 115ක්. 

චරිත් අසලංක ලකුණු 37 ක් රැස් කළ අතර 08 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි වනිදු හසරංග පන්දු 19කදී වේගවත් ලකුණු 37 ක් රැස් කළා. පන්දු යැවීමේදී මානස් ලැබුෂේන්ග් ලකුණු 19 කට කඬුලු 02 ක් සහ ඇෂ්ටන් ඒගර් ලකුණු 49 කට කඩුලු 02 ක් දවා ගැනීමට සමත් වුණා. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා එල්ලවීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් තරගය අත් හිටුවීමට සිදුවුණා. 

ඒ අනුව තරග තීරකවරයා තීරණය කලේ ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 44 කට සීමා කිරීමටයි. ඒ අනුව පන්දුවාර 44කදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක් හිමි වුණා. ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 42යි පන්දු 3 කදී කඩුලු 8ක් දැවී එම ඉලක්කයට ලගාවුණා. 

ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු අසූවක් රැස් කලා. පන්දු 51කදී වාර්තාවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ඇතුලත්. ස්ටීවන් ස්මිත් ලකුණු 53 ක් රැස් කළ අතර වනිදු හසරංග ලකුණු 58 කඩුලු 4ක් දවා ගත්තා. මෙම තරගයේදී එක්දින වරම් හිමිකර ගත් දුනිත් වෙල්ලාලගේ ලකුණු 49 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්්‍රලියානු කණ්ඩායම සමත්වී සිටිනවා.

දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීම හෙට දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.