Monday, April 29, 2024

General line - 0115112241

වැරදි හදාගෙන ඉදිරි තරගය ක්‍රීඩා කරනවා - කුසල් මෙන්ඩිස්




ඔස්ට්‍රේලියාව සමඟ පැවති පළමු එක් දින ක්‍රිකට් තරඟයේ සිදු වූ වරද නිවැරදි කර ගෙන මුහුණ දීමෙන් ඉඳිරි තරඟය ශ්‍රී ලංකාවට ජයග්‍රහනය කිරීමට හැකි බව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසනවා. දෙරට අතර ඊයේ පැවති පළමු එක් දින ක්‍රිකට් තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කළා.

වනිදු හසරංග සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්ණයකටද කුසල් මෙන්ඩිස් මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය යටතේ කඩුලු දෙකකින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 87 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 86 ක්. 

ඔස්ට්‍රේලියානු  කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා එල්ලවීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් තරගය අත් හිටුවීමට සිදුවුණා. ඒ අනුව තරග තීරකවරයා තීරණය කලේ ඔස්ට්‍රේලියානු  ඉනිම පන්දුවාර 44 කට සීමා කිරීමටයි.

ඒ අනුව පන්දුවාර 44කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක් හිමි වුණා. ඔස්ට්‍රේලියානුවන් පන්දුවාර 42යි පන්දු 3 කදී කඩුලු 8ක් දැවී එම ඉලක්කයට ලගාවුණා. 

ඒ අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වී සිටිනවා.
දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීම හෙට දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.