Friday, March 29, 2024

General line - 0115112241

තුර්කියෙන් ලිබියාවට සිරියානු කුලී හේවායන්




තුර්කි රජය විසින් ලිබියාවට සිරියානු සටන්කාමීන් යොදවා ඇති බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් මගින් චෝදනා කර තිබෙනවා.

ලිබියාව පිළිබඳ විශේෂඥ මණ්ඩලයක් විසින් සකස් කොට ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණය කරඇති බව සදහන්.

පවතින සම්බාධක උල්ලංඝනය කරමින් තුර්කිය නව සටන්කරුවන් සහ ආයුධ ලිබියාවට යවා ඇති බවට එම වාර්තාව මගින් චෝදනා කර තිබෙනවා.

අබ්දුල් හමීඩ් ඩ්බෙයිබේ විසින් නායකත්වය දෙනු ලබන ජාතික සමගි රජයට අනුබද්ධ හමුදා කඳවුරුවල, තුර්කි පිටුබලය ලබන සිරියානු සටන්කරුවන් අඛණ්ඩව රැදී සිටින බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

ඩ්බෙයිබේ හිටපු ලිබියානු නායක මුවම්මර් අල් ගඩාෆිගේ සමීපතමයෙක් ලෙස සැළකෙනවා.

මේ අතර තුර්කි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසූයේ ලිබියාවට  යුධ ආධාර සැපයීම දිගටම කරගෙන යන බවයි. 

ලිබියානු විශේෂඥ මණ්ඩල වාර්තාවට අනුව,  2021 මැයි සිට 2022 මාර්තු දක්වා කාලය තුළ තුර්කියේ සිට බටහිර ලිබියාව දක්වා හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් 33 ක් නිරීක්ෂණය කර තිබෙනවා.