Monday, May 20, 2024

General line - 0115112241

පොහොර බෙදන්න කෘෂිකර්ම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ




කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතනවල සේවක මණ්ඩල නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට එම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහායි. 

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදෙන මෙට්ට්‍රික් ටොන් 65,000 කින් සමන්විත පොහොර නෞකාවක් ජූලි මස 06 වනදා මෙරටට ලගාවීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. 

එලෙස මෙරටට හිමිවන පොහොර තොගය, ගොවි ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට අද උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දී  පැවති සාකච්ඡාවකදීයි. 

ඒ අනුව අදාළ යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමෙන් පසුව දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරෙනු ඇති. එම කටයුතු ජූලි 07 දින සිට ජූලි 15 දක්වා සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

මේ අතර මෙවර යල කන්නය සඳහා ඉකුත් 22 වන විට වගා කටයුතු ආරම්භ කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර හාරලක්ෂ 92,612 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එම ප්‍රමාණය වගා කිරීමට සැලසුම් කර තිබූ සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 82 ක ප්‍රතිශතයක්.