Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස් ඇඳිරි නීතිය පැනවීම ගැන පාර්ශව රැසකින් විරෝධතා




ඊයේ රාත්‍රී 9.00 සිට බස්නාහිර පලාතට ප්‍රකාශයට පත් කර ඇති පොලිස් ඇදිරි නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කර සිටිනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරන්නේ දැනට ප්‍රකාශ කර ඇති ආකාරයේ ඇඳිරි නීතියක් පැනවීමට පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදනයක් නොමැති බවයි. 

පොලිස්පතිවරයාගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත් එසේ පොලිස් ඇදිරි නීතිය පැනවීම නීති විරෝධී බවත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද පවසන්නේ මෙලෙස හදිසි නීතිය පැනවීම නීති විරෝධී බවයි. 

මේ අතර විපක්ෂයේ දේශපාලඥයින් රැසක්ම පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පල කරනවා. ඔවුන් පවසන්නේ අද දිනයේ පැවැත්වීමට නියමිත මහජන විරෝධතාව කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. 

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් මානව නිදහස පිළිගන්නා රටක සෑම පුරවැසියෙකුටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකම් දිනාගැනීමට අරගල සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරදී තිබෙන බව විපක්ෂයේ දේශපාලඥයින් වැඩිදුරටත් පවසනවා.