Wednesday, May 15, 2024

General line - 0115112241

යුද හමුදා සෙබළෙකු සතු ගිනිඅවියක් විරෝධතාකරුවන් පැහැර ගනී




බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ ඊයේ පැවැති විරෝධතාවය පාලනය කිරීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසනවා. 

විරෝධතාකරුවන් පහරදීම හේතුවෙන් එලෙස බරපතල තුවාල ලබා ඇත්තේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරනු බලන පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහු මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළා. 

මේ අතර විරෝධතාකරුවන් පහරදීම හේතුවෙන් යුද හමුදා සාමාජිකයෙකු ද තුවාල ලබා ඇති අතර ඔහු ද මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. එලෙස තුවාල ලබා ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සිටින හමුදා සාමාජිකයෙක්. 

පහරදීම සිදුවන අවස්ථාවේදී එම යුද හමුදා සෙබළා සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවිය හා එහි ජීව උණ්ඩ 60 ක් අඩංගු පතරොම් ගැබ් 02 ක් විරෝධතාකරුවන් විසින් පැහැර ගත් බවට බොරැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.