Tuesday, May 14, 2024

General line - 0115112241

අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන දෙන්න විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග




මෙරටට ආනයනය කරනු ලබන ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බෙදාහැරීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. 

ඒ, ඉන්ධන, ආහාර, විදුලිය, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙළක් සකස් කරන රජයට නියෝග කරන්නැයි ඉල්ලා 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් අද කැඳවනු  ලැබූ අවස්ථාවේදීයි. අද විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් අද කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා විසින් ඉන්ධන මිලදී ගැනීම හා බෙදාහැරීම පිළිබඳ පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළ බවයි නෙත් නිවසු් අධිකරණ වාර්තාකරු පැවසුවේ. එම දිවුරුම් ප්‍රකාශය තුළින් රජය විසින් මිලදී ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණය, ඒ සඳහා කර ඇති ගෙවීම් සහ ඒවා බෙදාහැරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙන්වා දුන්නේ එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි. ඉන්ධන බෙදාහැරිමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත්භාවය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වන ගොවීන්ට තම වෘත්තියට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. 

එමෙන්ම ඉන්ධන හිගය හේතුවෙන් එළවළු ගොවීන්ට සිය අස්වැන්න වෙළෙඳපොළ කරා ප්‍රවාහනය කර ගැනීම ද අසීරු වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඉන්ධන ලබාදෙන බව ප්‍රකාශ කෙරුණද එම කේෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ඉටු කරන පිරිස් වලට ඒවා නිසි පරිදි නොලැබෙන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී විනිසුරුවරුන්ද සඳහන් කළේ ඉන්දන බෙදාහැරිමේ ක්‍රියාවලිය තුළ  අවිධිමත් භාවයක් දක්නට ඇති බවයි. ඒ හේතුවෙන් සෞඛ්‍ය, ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර අකර්මන්‍ය වී ජන ජීවිතය කඩාවැටෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් විනිසුරුවරුන් පෙන්වා දුන්නා.

ඒ අනුව විනිසුරුවරුන්  නියම කළේ ඉදිරි දෙසතියක කාලය තුළ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා හා  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා ඉන්ධන බෙදාහැරීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම සුදුසු බවයි. අදාළ පෙත්සම්ලබන 26 වනදා යළි කැඳවීමට ද නියෝග කළ ශ්‍රෙෂ්ඨාධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියෝග කර තිබෙනවා.