Tuesday, May 14, 2024

General line - 0115112241

වැඩබලන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය (VIDEO)




නව ජනාධිපතිවරයෙකු ලබන සතියේදී පාර්ලිමේන්තු ක්‍රමවේදය තුල තෝරා පත්කර ගන්නා තෙක් තමන් විසින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස සුවිශේෂී තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ නව වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවා.

පාර්ලිමේන්තුව ක්‍රමවේදය තුල නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා කාල සීමාව තුලදී නැවත 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට අදාළ කෙටුම්පත් සියල්ල සකස් කරන ලෙස තමන් දැනුම් දුන් බව පැවසූ වැඩබලන ජනාධිපතිවරයා එම කටයුතු ලබන සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර සිටියා.

සාමකාමී අරගලය කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවත්, තවත් සමහරු කඩාකප්පල්කාරී කටයුතු කිරිමට උත්සහ දරන බවයි මෙහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ. තවත් සමහරුන් ලබන සතියේදී පාර්ලිමේන්තුව තුල නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී මන්ත්‍රීවරුන්ට බලපෑම් එල්ල කිරීමට උත්සාහ දරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බවයි එතුමා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වුවද සියලුම මන්ත්‍රීවරුන්ට ස්වාධින මතය ප්‍රකාශ කිරීමේ අවකාශය ලබාදෙන බවත්, සියලුම මන්ත්‍රීවරුන්ට පුර්ණ ආරක්ෂාව සැපයීමට කටයුතු කරන අතර පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද මෙහිදී වැඩබලන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පැසිස්ට්වාදී ක්‍රමවේදයන් ඔස්සේ රට ගිනි තැබීමට කටයුතු කරන පිරිසක් සිටිනවා. පාර්ලිමේන්තුව අසලදී ඇතිවූ සිදුවීම් වලදී හමුදාවේ ගිනි අවි දෙකක් සහ පතොරම් සොරා ගෙන තිබෙනවා. ඒ වගේම හමුදාවේ 24 දෙනෙකුට තුවාල සිදුවෙලා තියෙනවා. ඉන් දෙදෙනෙකුට බරපතලයි. අරගලකරුවන් සහ කැරලිකරුවන් කියන්නේ කොටස් දෙකක්. කැරලිකරුවන්ට නීතියට අනුව ක්‍රියා කරන බවයි මෙහිදී වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ.

ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ දෙනා මේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට විරුද්ධව සිටිනවා. මම කිසිම අයුරකින් ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ, ඒ වගේම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න මම කැපවෙනවා.

නිතිය හා සාමය ආරක්ෂා කරන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

දේශපාලන මතිමතාන්තර අමතක කර රට වෙනුවෙන් එක්වෙන සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට ආරාධනා කරනවා.

වැඩබලන ජනාධිපති ලෙස මට පැවරී ඇති බලතල අනුව වැඩබලන ජනාධිපතිවරයා හැදින්වීමේදී භාවිතා කරන අතිගරු කියන ආමන්ත්‍රණය සහ ජනාධිපති කොඩිය මම අහෝසි කරනවා. රටකට තියෙන්න පුළුවන් එකම කොඩියක් විතරයි. ඒ ජාතික කොඩිය විතරයි.

නව ක්‍රමයක් වෙනුවෙන් අප සියලු දෙනා එක්වෙමු.