Friday, May 17, 2024

General line - 0115112241

ජාතික ඉන්ධන අවසර පතට පුද්ගලයින් මිලියනයක් ඉක්මවා ලියාපදිංචි වෙයි




ජාතික ඉන්ධන අවසර පත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සදහා ජාතික ඉන්ධන අවසර පත හදුන්වා දෙනු ලැබුවේ ඊයේ දිනයේදීයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ එම නව ක්‍රමවේදය හරහා ඉදිරියේදි පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන බවයි.

මේ අතර ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ජංගම ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමයක් භාවිතා කිරීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

 ත්‍රිරෝද රථ, භාණ්ඩ බෙදා හැරීම් සිදුකරනු ලබන යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව ඉන්ධන බෙදහැරීමටයි පියවර ගෙන ඇත්තේ. විශාල විවෘත ස්ථානවල ජංගම ඉන්ධන ට්‍රක් රථ මගින් එලෙස ඉන්ධන බෙදාහැරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මෙම ක්‍රමවේදය  දිවයින පුරා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් අඩංගු නෞකාවක් මෙරටට ළගා වී තිබෙනවා. එම ඩීසල් තොගයේ සාම්පල පරීක්‍ෂා කිරීමේ කටයුතු අවසන් වූ වහාම ඩීසල් තොගයේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.