Friday, May 17, 2024

General line - 0115112241

පොලීසියෙන් පැහැරගත් වායු උණ්ඩ 50ක් පෙදරේරුවෙකුගේ නිවසකින් සොයා ගැනේ




පොලිස් නිලධාරීන්ට පහර දී ඔවුන් සන්තකයේ තිබූ කදුලු වායු උණ්ඩ පැහැරගත් සැකකරුවකු වැලිකඩ ඔබේසේකරපුර නානායක්කාර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉකුත් 13 වනදා රාත්‍රී කාලයේ බත්තරමුල්ල පොල්දූව මන්සන්දියේ පැවති විරෝධතාවය පාලනය කිරීමට සඳහා පොලිස් නිලධාරීන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් එම උණ්ඩ රැගෙන යමින් සිටි බවයි පොලීසිය පැවසුවේ. 

විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට පහර දී කදුලු වායු උණ්ඩ 50ක් පැහැර ගෙන ගොස් තිබුණා. පොලීසිය විසින් එම කදුලු වායු උණ්ඩ 50 සොයා ගෙන ඇත්තේ සැකකරු තාවකාලිකව පදිංචිව සිටි බොරැල්ල ගෝතමී පාර ප්‍රදේශයේ නිවසේ සඟවා තිබියදීයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොලොන්නරුව කාශ්‍යපපුර පදිංචි පෙදරේරුවෙකු වනවා. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පල කෙරෙන දැන්වීම් පිළිබඳ විමර්ශනය කරන බව පොලීසිය පවසනවා. 

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

ඒ අනුව, එවැනි දැන්වීම් සමාජ මාධ්‍ය ජාලයේ පල කරන, සකස් කරන, බෙදාහරින, සංසරණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.