Monday, May 20, 2024

General line - 0115112241

ජනපති මැදුරේදී සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝගයක්




පසුගිය 09 වනදා අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාවේ දී ඒ තුළ තිබී සොයාගෙන අරගලකරුවන් විසින් පොලිසියට භාරදුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත්  කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.

ඉකුත් 09 වනදා ජනාධිපති මන්දිරයේ සිටි අරගලකරුවන් විසින් රුපියල් එක්කෝටි හැත්ත අට   ලක්ෂ පනස් දහසක මුදලක් කොටුව පොලිසිය වෙත භාර දී ඇති බවද කොටුව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

එසේ භාරදී සති තුනක් ගතවී තිබුණද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක්  අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළා.

අදාළ මුදල් සම්බන්ධව වාර්තාවක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් පොලීසියට නියෝග කර සිටියා.

මේ අතර ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතර දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම සැකකරවන් සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය දන්වා සිටියේ  ජනාධිපති මන්දිරයේ තුළ තිබී හමුවූ මුදල් පිරිසක් විසින් ගනිමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන් ද සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.