Monday, May 20, 2024

General line - 0115112241

රට බංකොලොත් කළ පිරිසට දඬුවම් නොදී අරගල බිමේ තරුණයින් හිරගෙට ‍යැවීමට ආණ්ඩුවට ඇති අයිතිය කුමක්ද ? මන්ත්‍රී පාඨලී චම්පික අසයි




රට බංකොලොත් කළ පිරිසට දඬුවම් නොදී අරගල බිමේ තරුණ තරුණියන් හිරගෙට ‍යැවීමට ආණ්ඩුවට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්දැයි 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රශ්න කර සිටිනවා. 

පාර්ලිමේන්තුවේදී පැවති හදිසි නිතිය සම්මත කිරීමේදී විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

රාජ්‍ය ආයතනවලට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරගෙන විශ්වාසය දිනාගන්නා මට්ටමකට ආණ්ඩුව පත් කරගන්නවා විනා පක්ෂවලින් මන්ත්‍රිවරුන් හෝ ඔවුන්ගේ හිතවතුන්, නිලධාරීන් ගැනීමෙන් රටේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, 

"අපේ රටේ තියෙනවා මොනිටරි ලෝ ඇක්ට් එක 1950 ඉඳන්. මේ රට බංකොලොත් භාවයට පත් කිරීම සඳහා වගකිවයුතු ඒ මහ බැංකු අධිපතිලාට, මූල්‍ය මණ්ඩලයට කවුරුවත් නැහැ නඩු දාන්න. 2002 දි අපි සම්මත කර ගත්තා ෆිස්කල් රෙස්පොන්සිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක්. ඒ මගින් මේ රටේ ණය පාලනය කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ ලේකම්ට, මුදල් අමාත්‍යාංශයෙ ලේකම්ට ලැබුණා. 

ඒ දීලා තිබුණු ඉලක්ක අනුව 2013 දී අපේ රටේ ණය බර වෙන්න ඕනේ දළ ජාතික ආදායමෙන්, නිෂ්පාදනයට සාපේක්ෂව 60% යි. අද කීයද? 120 යි. එතකොට ඒ වගකීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ලා, මුදල් ඇමතිලා, භාණ්ඩාගාර ලේකම්ලා ඉටුකරලා තියෙනවද? අද මේ ජනතාව දුක් විඳින්න එක හේතුවක් ඒක නේද? 

රාජපක්ෂ පවුලට අමතරව, ඒ මහා ජාතික මංකොල්ලයට අවශ්‍ය රැකවරණය ලබාදීපු අයට මූල්‍ය පනත යටතේ හෝ මූල්‍ය කළමනාකරණ පනත යටතේ හෝ දඬුවම් දෙන්නෙ නැතිව අරගල බිමේ ඉන්න තරුණ, තරුණියෝ හිරගෙට යවන්න. මොකක්ද ආණ්ඩුවකට තියෙන සදාචාරාත්මක අයිතිය?

මේ අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා අපිට ඒ බංකොලොත් රට ඇති වුණා. 2020 මාර්තු 7 වෙනිදා මහ බැංකුවට, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පණිවිඩයක් ලැබුණා ඔබේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේ නැත්නම් ඉතා ඉක්මනින් අමාරුවේ වැටිලා, බංකොලොත් භාවයට ලක් වෙන්න නියමිතයි කියලා. ඒක නොතකා හැරියා මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා." මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.