Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන මිල ඉහළ යාම නිසා බංග්ලාදේශයේ ජන ජීවිතය කඩාවැටෙන ලකුණු




ඉන්ධන මිල වාර්තා ගත ලෙස ඉහළ යාම හමුවේ බංග්ලාදේශයේ ජන ජීවිතයට දැඩි බලපැම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ පවතින තත්ත්වය හමුවේ අඩු සහ මධ්‍ය ආදායම් ලබන පුද්ගලයින් දැඩි පීඩාවට පත්ව සිටින බවයි. 

සියයට 52 ක ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ යාමෙහි ප්‍රතිපලයක් ලෙස බංග්ලාදේශයේ අධි උද්ධමන තත්ත්වයක් වාර්තා වෙමින් තිබෙනවා. ඒ හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ මිලදී ගැනීමට ඇති හැකියාව පහළ යාමෙන් බංග්ලාදේශ වැසියන් බොහෝ පිරිසක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින බවයි වාර්තා වන්නේ. 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනවල ආදායම් පහළ වැටීමෙන් සේවකයින් බොහෝ දෙනෙකු වැටුප් කප්පාදුව හා රැකියා අහිමි වීමේ අවදානමකට මුහුණ පාමින් සිටින බව ද සඳහන්. එමෙන්ම පාසැල් සිසුන් ද ආදායම් මාර්ග සොයා යාම හේතුවෙන් නව යොවුන් වියේ පසුවන පිරිමි ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටීමේ අවදානමක් ද බංග්ලාදේශය තුළ මතුව තිබෙනවා. 

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටින පුද්ගලයින් මෙන්ම පොදු හා පෞද්ගලික ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් ද දැඩි පීඩාවට පත්ව සිටින බව සඳහන්. ඉන්ධන මිල පහළ දැමීමට හෝ වෙනත් මාර්ග හරහා ජනතාවට සහන සැලසීමට බංග්ලාදේශ රජය පියවර නොගත හොත් රට තුළ යාචකයින් ලෙස දිවිගෙවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.