Wednesday, May 15, 2024

General line - 0115112241

කෝපා සහ කෝප් කමිටුවේ සභාපති ධුර සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා කරයි




පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් හා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා යන කමිටුවල සභාපති ධූරය සඳහා නාම යෝජනා ලබා දීමට විපක්ෂයේ පක්ෂ වෙත අවස්ථාව හිමිව තිබෙනවා. 

ඒ අනුව සමඟි ජන බලවේගයෙන් කෝප් කමිටුව සඳහා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගේ නමත් කෝපා කමිටුවට කබීර් හෂීම්ගේ නමත් යෝජනා කිරීමටයි දැනටමත් කටයුතු කර ඇත්තේ. ඒ අනුව සභාපති ධූරය සඳහා නාමයෝජනා කිහිපයක් ලැබුණහොත් මේ වනවිට සිටින කමිටු සාමාජිකයින්ට ඡන්ද විමසීමකින් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇති. 

පාර්ලිමේන්තුව ලබන 29 වනදා යලි රැස්වීමට නියමිතයි. විදුලි බිල වැඩිකිරීමට අදාල කල්තැබීමේ විවාදය එදින පැවැත්වෙනවා. ලබන 30 වනදා සිට සැප්තැම්බර් 02 වනදා දක්වා විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති. 

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එල් එම් අතාවුල්ලාගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නියෝජනය කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේදී කතා කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවන බවයි. 

එබැවින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන්ද කතානායකවරයාගේ අවධානය යොමුව ඇතැයි සදහන්.