Wednesday, May 15, 2024

General line - 0115112241

ඩොලර් මිලියන 464 ක් රැගෙන ජපාන සමාගමක් ශ්‍රී ලංකාව හැර යාමට සැරසෙයි




මතභේදයට තුඩුදුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමග යළි සාකච්ඡා කිරීමට ජපානයේ තායිසේ සමාගම සූදානම් වනවා. එරට මාධ්‍ය ඇතුළු තවත් මාධ්‍ය වාර්තා කිහිපයකම දැක්වුණේ අදාළ ව්‍යාපෘතියෙන් ඉවත්වීමේ අරමුණින් මෙම සාකච්ඡා ආරම්භ කිරීමට තායිසේ සමාගම තීරණය කර ඇති බවයි. 

තායිසේ සමාගම මීට පෙර එකග වී තිබුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව බහුකාර්යය පර්යන්තයක් ඉදිකිරීම සඳහා යෙන් බිලියන 62 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 464 ක් ආයෝජනය කිරීමටයි. අදාළ කොන්ත්‍රාත්තුවට අනුව එහි ඉදිකිරීම් 2023 වසරේ අවසන් කිරීමට නියමිතව තිබුණා. 

කෙසේවෙතත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය හෙවත් ජයිකා ආයතනය මෙරට ගුවන් තොටුපළ හා ගුවන් සේවා ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් සැපයීම ඉකුත් දා අත්හිටුවා තිබුණා. එලෙස ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදීමට තිබූ ණය ප්‍රමාණය ජපන් යෙන් බිලියන 70 කට අධිකයි. 

එහෙත් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ණය ගෙවීම් අත්හිටුවන බවට ඉකුත් දා ප්‍රකාශ කිරීමත් සමග ජයිකා ආයතනය තීරණය කළේ අදාළ ණය ආධාර ලබාදීම අත්හිටුවීමටයි. බණ්ඩාරනායක ගුවන් තොටුපළ ආශ්‍රිත ව්‍යාපෘතියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ජපාන තායිසේ ඉංජිනේරු සමාගම ද සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුවයි.    

ජපන් මාධ්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ අරමුදල් තත්ත්වය යහපත් නොවන්නේ නම් අදාළ ව්‍යාපෘතියෙන් නිදහස් කිරීමක් ඉල්ලා සිටීමට ජපානයේ තායිසේ සමාගමට හැකි බවයි.

අල්ලසක් ඉල්ලා ඇති බවටගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට ඉකුත් දා චෝදනා එල්ල වූයේ ද මෙම ව්‍යාපෘතියට අදාළවයි. ඒ අනුව ඔහුට අමාත්‍යධූරයෙන් ඉවත් වන ලෙස හිටපු ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් අතර චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කෙරුණා. පසුව යළිත් වරක් නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ඉකුත දා දිවුරුම් දුන්නේ අදාළ වාර්තාවෙන් ඔහුට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබීම හේතුවෙන්. 

ජපාන ව්‍යාපෘති අත්හිටුවීම සමබන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඉකුත් දා පළ කළේ මෙවන් අදහසක්. 

ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අදාළ චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ජපන් මාධ්‍ය වාර්තාවලට අනුව ඉකුත් ජූලි මාසය වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ ජපන් සමාගම සංඛ්‍යාව 180 ක්.