Tuesday, May 14, 2024

General line - 0115112241

චීන නැව ගැන රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි




ආන්දෝලනයට තුඩුදී ඇති යුවාන් වැන්ග් 5 චීන නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජය අද සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ස්වෛරීත්ව, සමානාත්මතා ප්‍රතිපත්තිය මත චීන නෞකාවට මෙම අවසරය ලබාදුන් බවයි. 

චීනය, ඉන්දියාව මෙන්ම අමෙරිකාව ද ශ්‍රී ලංකාවට එකසේ වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එවැනි මිත්‍ර රටවල් සමග මෙවැනි සිද්ධියක් පදනම් කර ගනිමින් ගැටුමක් ඇති නොවීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. 

චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව අද පෙරවරුවේ හම්බන්තොට වරායට සේන්දු වුණා. ඒ, 400 කට ආසන්න කාර්යය මණ්ඩලයක් ද සමගයි. නෞකාව පිළිගැනීම සඳහා හම්බන්තොට වරාය පරිශ්‍රයේ විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබුණා. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද එක්ව සිටියා. 

මන්ත්‍රීවරයා සඳහන් කළේ චීනය කිසිවිටෙක ශ්‍රී ලංකාව බිඳදැමීමට කටයුතු කර නොමැති බවයි.

අද දින හම්බන්තොට වරායට සේන්දු වූ චීන නෞකාව ලබන 19 වනදා තෙක් මෙරට රැඳී සිටිනු ඇති බවටයි හාබර් මාස්ටර්වරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.