Wednesday, May 22, 2024

General line - 0115112241

යුරෝපා රටවල් චීනය හැර යන ලකුණු




යුක්‍රේන යුද්ධය සදහා චීනය ඍජුව මැදිහත් වන බවක් නොපෙන්වුව ද එහි බලපෑම් මේ වනවිට චීනයට එල්ල වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඇතැම් යුරෝපා රටවල් චීනය සමග පවතින සබඳතා අතහරිමින් ඇති පසුබිමක් තුළයි.

ඊට කදිම උදාහරණයක් ලෙස චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල් අතර පවතින සහයෝගිතා හවුලකින් යුරෝපානු රටවල් 2 ක් ඉවත් වී තිබෙනවා.

එම රටවල් වන්නේ රුසියාවට මායිම්ව පිහිටි ලැට්වියාව සහ එස්තෝනියාවයි.

ඒ අනුව සික්ස්ටීන් ප්ලස් වන් ලෙස හදුන්වන එම සහයෝගිතා හවුලට මින් පසු සහභාගී නොවන බව ලැට්වියාව සහ එසතෝනියාව පවසා තිබෙනවා.

ඊට හේතු වශයෙන් එම රටවල් පවසන්නේ යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ප්‍රතික්ෂේප කිරීමට චීනය අපොහොසත් වීම හේතුවෙන් එලෙස චීනය සාමාජිකත්වය දරණ සහයෝගිතා හවුලෙන් ඉවත් වන බවයි.

එමෙන්ම තායිවානය අවට චීනය සිදු කරන හමුදා අභයාසයවලට ද විරෝධය පල කරන බව  ලැට්වියාව සහ එසතෝනියාව පවසා තිබෙනවා.

චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපානු සහයෝගිතා හවුලේ සාමාජිකත්වය දැරූ යුරෝපානු රටක් වන ලිතුවේනියාව ද මීට පෙර චීනයට විරෝධය පා එම හවුලෙන් ඉවත් වුණා.

චීනය හා මධ්‍යම හා නැගෙනහිර යුරෝපානු රටවල් 16 ක් එක්ව සික්ස්ටීන් ප්ලස් වන් නමැති සහයෝගිතා හවුල ගොඩනගා ගත්තේ දෙපාර්ශවයේ ව්‍යාපාර හා ආයෝජන ප්‍රවර්ධන කර ගැනීම සදහායි.