Monday, May 13, 2024

General line - 0115112241

තුන්වන චාර්ල්ස් රජු ලෙස බ්‍රිතාන්‍යයයේ චාර්ල්ස් කුමරු කිරුළු දැරීමට සැරසෙයි




දෙවන එලිසබෙත් රැජිණගේ නික්මයාම කඳුළු පිරි දෙනෙතින් බලාසිටින බ්‍රිතාන්‍යය වැසියන් අද නව රජකුගේ ආගමනයත් අපේක්ෂාවෙන් සිටිනවා. ඒ, චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ලැබීමට අපේක්ෂාවෙන් සිටින බැවින්. 

හෙට දිනයේදී එම කටයුතු සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊට පෙර අද පස්වරුවේ තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යය වැසියන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම ද  නියමිතයි. චාල්ස් කුමරු රජ වීමත් සමග ඔහුගේ වැඩිමහල් පුතු වන විලියම් කුමරු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වනු ඇති. ඒ සඳහා චාල්ස් රජු විලියම් කුමරුන්ව ඔටුන්න හිමි කුමරු ලෙස නම් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චාල්ස් රජුගේ පදවි ප්‍රාප්තියත් සමග බි්‍රතාන්‍යයේ මුදල් නෝට්ටු, කාසි, මුද්දර, විදෙස් ගමන් බලපත්‍ර, පොලිස් නිලධාරීන්ගේ හිස්වැසුම් ආදිය වෙනස් වීමට නියමිතයි. මුදල් නෝට්ටුවලට සහ කාසි සඳහා රැජිනගේ රුව වෙනුවට රජුගේ රුව එක්වනු ඇති. කෙසේවෙතත් ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් රජ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු දැඩි ලෙස ශෝකයට පත්ව සිටින බව වාර්තා වනවා. ඊට හේතුව වී ඇත්තේ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට වෛiවරුන් ප්‍රකාශයට පත්කර තිබියදී ඔවුන්ට එම ස්ථානයට ලගාවීමට නොහැකි වීමයි. රැජින සිය අවසන් හුස්ම හෙළන අවස්ථාවේ ඇය ආසන්නේ සිට ඇත්තේ චාල්ස් කුමරු හා ඈන් කුමරිය පමණයි. 

රැජිනගේ අනෙක් දරුවන් දෙදෙනා වන ඇන්ඩෲ කුමරු හා එඩ්වඩ් කුමරුට සිය මවගේ අභාවය සිදුවීමට පෙර බැල්මොරාල් මාලිගයට යාමට අවස්ථාව හිමි වී නැහැ. එමෙන්ම විලියම් කුමරු හා හැරී කුමරු ද එම අවස්ථාවේදී බැල්මොරාල් මාලිගයට යාමට උත්සහ කළත් ඔවුන්ට ද එය නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවය ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතයි. ලෝක නායකයින්, රාජකීයයන් හා ප්‍රභූවරුන් ඇතුළු 2,000 ක පමණ පිරිසක් ඊට සහභාගී වනු ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් රැජිනගේ රාජකීය දේහය ලන්ඩනයට රැගෙන ඒමට නියමිතව ඇත්තේ ලබන අගහරුවාදායි. එතෙක් එය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් අගනුවර තැන්පත් කර තැබෙනු ඇති. 

රැජිනගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා. ඒ අතරින් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයින් ප්‍රධානයි. රැජිනගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටින බි්‍රතාන්‍ය වැසියන් බොහෝ පිරිසක් ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගය අසලට සහ ලන්ඩනයේ බකිංහැම් මාලිගය අසලට රැස්ව සිටින බව ද  විදෙස් මාධ්‍ය වාර්තා කළා.