Monday, May 13, 2024

General line - 0115112241

රැජිනගේ අභාවයෙන් ලොවම කම්පා වෙයි - දේහය රැජිනගේ ප්‍රියතම ස්ථානයට




අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගයේ තැන්පත් කර තිබෙනවා. ඒ, ඇය අවසන් හුස්ම හෙළුෑ ස්ථානය නිසාම පමණක් නොවේ. බැල්මොරාල් යනු දෙවන එලිසබෙත් රැජින මහත් ඇළුම් කළ මාලිගයක් ලෙසයි සැලකෙන්නේ. 

බැල්මොරාල් මාලිගය තුළ රජ පවුලේ සමීපතමයින් නිතර හමුවී සාද පැවැත්වූ උත්සව ශාලාවක් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ වයස අවුරුදු 12 සිට එලිසබෙත් රැජින එහි නටමින් විනෝද වී ඇති බවයි. 

බ්‍රිතාන්‍යයේ රාජකීය ඔටුන්න හිමිවීමෙන් අනතුරුවත් වසරකට වරක් හෝ බැල්මොරාල් මාලිගයට ගොස් එහි කාර්යය මණ්ඩලය සමග සතුටු සාමිචියේ යෙදීම රැජිනගේ පුරුද්දක්ව පැවැති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදත් රැජිනගේ නිසල දේහය බැල්මොරාල් මාලිගයේ උත්සව ශාලාව තුළ තැන්පත් කර තිබෙනවා. කාර්යය මණ්ඩලය රැජින වෙනුවෙන් සිය අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව හෙට දිනයේදී දේහය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නුවරට රැගෙන එනු ඇති.

මේ අතර ස්කොට්ලන්තයේ රැඳී සිටි තුන්වන චාල්ස් රජු අද දිනයේදී සිය රාජකීය බිරිඳ සමගින් යළි ලන්ඩනය බලා පැමිණීමට නියමිතයි. අනතුරුව ඔහු බ්‍රිතාන්‍යය වැසියන් අමතා ඔවුන්ගේ නව රජු ලෙස අද විශේෂ ප්‍රකාශයක් ද සිදුකරනු ඇති. 

මේ අතර බ්‍රිතාන්‍යය වැසියන් බෙහෝ දෙනෙකු තවමත් බකිංහැම් මාලිගව වෙත රැස්ව සිටිනවා. මාලිගයේ ආරක්ෂක වැට රැජින වෙනුවෙන් ගෙන ආ විවිධ වර්ගයේ මල්වලින් පිරී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය හේතුවෙන් ලෝක නායකයින් රැසක් ද සිය ශෝකය පළ කරමින් සිටිනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ ඇය යුගයක් නිර්වචනය කළ කාන්තාවක් බවයි. කරුණාවන්ත හදවතක් ඇති රැජින සැමදා ප්‍රංශයේ මිතුරෙකු වූ බවයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් පවසා ඇත්තේ. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසන්නේ දෙවන එලිසබෙත් රැජින කැනේඩියානු වැසියන්ට මහත් ආදරයක් දැක්වූ බවයි. චීන ජනාධිපති සී ජින් පින් ද මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබුණා. 

මේ අතර යුක්රේන අර්බුදය හේතුවෙන් මේදිනවල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ යම් ගැටළුකාරි තත්ත්වයක් මතුව තිබුණ ද  රුසියාව ද රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.