Monday, May 13, 2024

General line - 0115112241

රජගෙදර අත්හැරි, හැරීගේ දරුවන්ට රැජිණගේ අභාවය නිසා යළි රාජකීය අවස්ථාවක්




දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යය රාජකීයයන්ගේ තනතුරුවල පැහැදිළි වෙනසක් සිදුව තිබෙනවා. ඉන් ප්‍රධානතම සිදුවීම වන්නේ බ්‍රිතාන්‍යයේ රජ තනතුර චාල්ස් කුමරුට හිමිවීමයි. ඔහුගේ බිරිඳ වන කැමිලා පාකර් රාජකීය සහකාරියයි. ඒ අනුව මෙතෙක් වේල්සයේ කුමරු කෝන්වොල්හි ආදිපාද නැතහොත් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ලෙස ප්‍රසිද්ධව සිටි චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, 03 වන චාල්ස් රජු ලෙස කිරුළු පළදිනවා. 

එමෙන්ම එතෙක් ඔහු දැරූ කෝන්වොල්හි ආදිපාද තනතුර චාල්ස් රජුගේ වැඩිමහල් පුත් විලියම් කුමරු හට මේවනවිටත් හිමිව අවසන්. ඒ අනුව දැන් විලියම් කුමරු කෝන්වෝල්හි හා කේම්බ්‍රිජ් හි ආදිපාදවරයායි.

එහෙත් චාල්ස් රජු වූ පමණින් විලියම් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු බවට පත් වන්නේ නැහැ. ඒ සඳහා චාල්ස්, රජ කිරුළ හිමිකර ගැනීමෙන් අනතුරුව ඔහු විසින් සිය වැඩිමහල් පුතු වන විලියම් කුමරු බ්‍රිතාන්‍යයේ නව කිරුළ හිමි කුමරු ලෙස නම් කළ යුතු වනවා. 

එලෙස නම් කිරීමෙන් අනතුරුවයි විලියම්, වේල්සයේ කුමරු බවට පත්වන්නේ. විලියම්, වේල්සයේ කුමරු බවට පත්වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් වේල්සයේ කුමරිය ලෙස හැඳින්වෙනු ඇති. මීට පෙර එම කීර්ති නාමය හිමිකර ගෙන හිටියේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියයි

විලියම් කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරන තෙක් කේට් මිඩ්ල්ටන් කෝන්වෝල්හි හා කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වනවා. ඔවුන් දෙදෙනාගේ දරුවන් තිදෙනා ජෝර්ජ්, චාලට් සහ ලුවිස් හට දැන් ඔවුන්ගේ නම් ඉදිරියෙන් කෝන්වෝල් හා කේම්බ්‍රිජ් යන නාමය භාවිත කළ හැකියි. 

සිය පියා වන විලියම් කුමරු ඔටුන්න හිමි කුමරු බවට පත්වූ විට ඔවුන්ට වේල්සයේ ජෝර්ජ්, වේල්සයේ චාලට් සහ වේල්සයේ ලුවිස් යන නම් භාවිත කළ හැකි වනවා.

මේ අතර බ්‍රිතාන්‍යය නව රජුගේ පදවි ප්‍රාප්තියත් සමග සිදුවන තවත් වැදගත් සිදුවීමක් වන්නේ හැරී සහ මේගන්ගේ දරුවන් දෙදෙනා වන ආචි සහ ලිලිබට් හට කුමරුවකු සහ කුමරියක වීමට අවස්ථාව උදාවීමයි. ඒ සඳහා ඔවුන්ට චාල්ස් රජුගේ විශේෂ අවසරයක් අවශ්‍ය වනු ඇති. එම අවසරය ලැබුනත් නොලැබුනත් සිය මව්පියන්ගේ කැමැත්ත පළවන්නේ නම් ඔවුන්ට එම අවස්ථාව හිමිවනු ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළා.  

මේ පිළිබඳව සැකසූ විශේෂ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.