Sunday, May 12, 2024

General line - 0115112241

මිල්කෝ සමාගමේ සිදු වූ ඉන්ධන වංචාවක් හෙළිවේ




මිල්කෝ ආයතනයට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ සිදු වූ මහා පරිමාණ ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරාට ලද තොරතුරකට අනුවයි.

අඹේවෙල කර්මාන්ත ශාලාවේ විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මීළ දී ගනු ලබනවා. ඉකුත් වසරේ එම කර්මාන්ත ශාලාවට ඇණවුම් කළ ඩීසල් තොග අවස්ථා කිහිපයකදී සේවකයන් පිරිසක් විසින් වංචා කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී  අනාවරණ වි තිබෙනවා.

ඔවුන් එලෙස වංචා කර ඇති ඩීසල් ප්‍රමාණය ලීටර් 45,000 ක් පමණ වන බවටයි මෙතෙක් සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

ඩීසල් තොග අඹේවෙල කර්මාන්ත ශාලාවට ලැබුණු බවට අදාළ පිරිස විසින් ලේඛණවල ව්‍යාජ ලෙස සටහන් කර තිබෙනවා. ඉන් අනතුරුව එම ඩීසල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  සිට රැගෙන එන බවුසර් රථ මගින් තෝරාගත් පිරවුම්හල්වලට ලබා දී මුදල් ලබා ගනිමිනුයි අදාළ පිරිස මෙම වංචා සිදු කර ඇත්තේ.

2021 වසරේ සිදුව ඇති මෙම වංචාව සම්බන්ධයෙන් මිල්කෝ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තවදුරටත් විමර්ශනය සිදු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මිල්කෝ සභාපති රේණුක පෙරේරා පැවසුවේ. අදාළ විමර්ශන කටයුතු අවසන් වූ පසු ඉන්ධන වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද මිල්කෝ ආයතනයේ  සභාපති රේණුක පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.