Sunday, May 12, 2024

General line - 0115112241

විශ්‍රාම ගැනීමේ වයස 60ට අඩුකළ චක්‍රලේඛය නිකුත් කෙරේ




රාජ්‍ය නිලධාරීන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විසින්.

එම චක්‍රලේඛයට අනුව පසුගිය ජනවාරි මස 6 වන දින නිකුත් කරන ලද 2 ඇල ඉරක් 2022 නමැති චක්‍රලේඛය මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදායින් අවලංගු වනවා.

විශ්‍රාම ගැන්වීමේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත මගින් හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධාරීන් හැර අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් සදහා  මෙම නව චක්‍රලේඛය අදාළ වනවා. ඒ අනුව ලබන ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස සලකා කටයුතු කරනු ඇති. 

මේ අතර වයස අවුරුදු 60 ඉක්මවා දැනට සේවයේ යෙදි සිටින සහ මෙම වසරේ දෙසැම්බර් 31 වනදා හෝ ඊට පෙර වයස අවුරුදු 60 සම්පූර්ණ වන නිලධාරීන් හට ඔවුන්ගේ කැමැත්ත පරිදි දෙසැම්බර් 31 දින හෝ ඊට ප්‍රථම විශ්‍රාම ගැනීමට අවස්ථාව මෙම නව චක්‍රලේඛයෙන් හිමි වනවා. 

මෙලෙස රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමෙන් පුරප්පාඩු වන තනතුරු සදහා බදවා ගැනීම් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. 

ඒ අනුව කරුණු සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායිව පවත්වාගෙන යාම සදහා සිදුකළ යුතු අත්‍යවශ්‍ය බදවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හදුනාගෙන ඒ සදහා කාලරාමුවක් නිර්දේශ කිරීමද මෙම කමිටුව හරහා සිදු කෙරෙනවා. එමෙන්ම දැනට රාජ්‍ය සේවය තුළ පැන නැගී ඇති ගැටළු සදහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමද මෙම කමිටුව මගින් සිදුකෙරෙනු ඇති.