Tuesday, May 14, 2024

General line - 0115112241

ආනයනික සහල්වල ප්‍රමිතිය සොයන්න පාරිභෝගික අධිකාරිය සැරසෙයි




ආනයනික සහල් විෂ සහිත බවට ජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණහොත් ඒ ගැන පරීක්ෂා කිරීමට සූදානම් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ආනයනික සහල් පාරිභෝජනයට නුසුදුසු බවට මේවනවිට කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවයි.
 
තෝරාගත් ආනයනික සහල් නියැදි කිහිපයක් රසායානාගාර පරීක්‍ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ආනයනික සහල් විෂ සහිත බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් වෙළද, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත්දා නිවේදනය කළා.
 
එමෙන්ම මේවනවිට වෙළදපොළේ පවතින ආනයනික සහල් තොග පිළිබද කිසිදු පරීක්ෂණයක් තවමත් සිදු කර නොමැති බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය ද පසුගියදා ප්‍රකාශ කළා.

එබැවින් දැනට වෙළදපොලේ පවතින ආනයනික සහල් තොගවල විෂ රසායන පවතිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැක්කේ ඒ පිළිබදව පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව බවයි වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රණවීර වැඩිදුරටත් සදහන් කළේ.