Wednesday, May 15, 2024

General line - 0115112241

රුපියල් බිලියන 4 කට අධික නොගෙවූ ජල බිල්පත් ගැන මණ්ඩලය හෙළි කරයි




ජල පාරිභෝගිකයින් විසින් නොගෙවූ ජල බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 4යි දශම 4ක් පමණ වන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ පියල් පද්මනාථ පැවසුවේ 2021 වසරේ අගෝස්තු මාසය වන විට සිය ආයතනයට අය විය යුතුව තිබූ හිග ජල බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 5යි දශම 2ක් පමණ අගයක් ගත් බවයි. පසුගිය කාල සීමාවේදී ජල සැපයුම් 21,257ක් විසන්ධි කළ බවත් විවිධ සහන ලබාදීමෙන් පසු මේවනවිට හිග බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 4යි දශම 4ක් වන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා. 

අවසන් මාසයට අයවිය යුතු මුදල ද එක්ව ගණනය කළ විට පාරිභෝගිකයින්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට අය විය යුතු මුළු මුදල බිලියන 6 ඉක්මවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අතරින් දේශපාලඥයින් විසින් ගෙවා නොමැති විදුලි බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 10ක් පමණ වන බවයි ජාතික ජල සම්පත් හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ පියල් පද්මනාථ වැඩිදුරටත් සදහන් කළේ.