Saturday, June 10, 2023

General line - 0115112241

පාකිස්තානයෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්




පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ හඹාගොස් ජයග්‍රහණය කළ තරඟයක පළමු කඬුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට පාකිස්තානය සමත්වී තිබෙනවා. ඒ, එංගලන්තයට එරෙහිව ඊයේ රාත්‍රියේ පැවති දෙවන පන්දුවාර විස්සයි 20 තරඟයේදීයි.

මෙම ලෝක වාර්තාවට හිමිකම් කීවේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්. පසුගිය වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක් රැස් කරගනිමින් ඔවුන් දෙදෙනාම බිහිකර තිබූ ලෝක වාර්තාවයි මෙලෙස ඔවුන් දෙදෙනාම ඊයේ බිඳ දැමුවේ.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර විස්සේදී කඬුලු 05 කට ලකුණු 199 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය, පන්දු වාර 19 යි පන්දු 3 කදී කිසිවෙකු නොදැවී ලකුණු 203 ක් රැස් කරමින් මෙම වාර්තාව බිහි කළා. එහිදී නායක බාබර් අසාම් පන්දු 66 කදී නොදවී ලකුණු 110 ක් රැස් කළා.