Tuesday, May 21, 2024

General line - 0115112241

ජනපතිට අදාළව පාස්කු ඉරුදින නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය





පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් බල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තියක් හිමිවන බවයි. එම වගන්තිය ප්‍රකාරව වර්තමානයේ ජනාධිපති ධුරය දරන තැනැත්තෙකුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව සඳහන් කොට ඇතැයි ද අගවිනිසුරු වරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය නායකයෙකුට තම නිල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා එම වගන්තිය හඳුන්වා තිබෙන බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය ප්‍රකාරව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම අවස්ථාවේදී අදාළ පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බවයි අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේ.

ඉන් අනතුරුව එම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 වනදා තෙක් කල් තැබුණා.

අදාළ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර තිබුණා.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය යටතේ ඔහුට එරෙහිව මෙම නඩු කර පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔහු මෙම පෙත්සම් වලින් නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

ඉල්ලීමට අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශව කීපයක් විරෝධය පළ කර තිබුණා.

එහෙත් දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා

අදාල ප්‍රහාරයෙන් වින්දිතයින් බවට  පත් වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 13ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් රාජකාරිය පැහැර හැර මහජනතාව අනතුරේ හෙලා මූලික  මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.