Tuesday, May 21, 2024

General line - 0115112241

අධි ආරක්ෂක කලාප නම් කළ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක්




කොළඹ නගරයේ ස්ථාන කීපයක් අධි ආරක්ෂක කලාපය වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

සමාජවාදී තරුණ සංගමයේ සංවිධායකවරයෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් විසින් පෙත්සම ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දස දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොළඹ නගරයේ ස්ථාන කීපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉකුත් 23 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරු අදාළ පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් පවසනවා.

ඒ අනූව තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටිනවා.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු එය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.