Wednesday, May 15, 2024

General line - 0115112241

තඹුත්තේගම ලක්ෂ 223ක කොල්ලයක් වරදී




තඹුත්තේගම නගරයේ බැංකුවක තැන්පත් කිරීම සදහා ව්‍යාපාරිකයෙකු විසින් රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ල කෑමේ තැතක් පොලිස් නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් අද ව්‍යාර්ථ කෙරුණා.

යතුරුපැදියකින් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම මුදල පැහැරගෙන පලා යාමට තැත් කළ අවස්ථාවේදී තඹුත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්ත  පොලිස් සැරයන් බුද්ධික කුමාර විසින් එම සැකකරුවන් මෙල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 හා 50 යන වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. සැකකරුවන් සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, පතොරොම් 01ක්, මන්නා පිහියක්, අත් වැසුම් ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් පලා යන අවස්ථාවේදී ඔවුන් වැළැක්වීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයාට එම සැකකරුවන් විසින් මිරිස් කුඩු ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේ අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේ ඖෂධ අලෙවිසැලක මුදල් අද පස්වරුවේ පැහැරගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.