Wednesday, May 15, 2024

General line - 0115112241

ගල් අඟුරු තොගයකට රජය අත්තිකාරම් ගෙවයි




නොරොච්චෝලේ බලාගාරයේ ක්ෂණික ගල් අඟුරු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිවී ඇති ගල් අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ගල් අඟුරු නෞකාවක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම ඊයේ සිදුකළ බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ.

මෙරට ගල් අඟුරු අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය දීර්ඝ කාලීන ටෙන්ඩර් සහ අත්පිට මිලදී ගැනීම්වලට අදාළ ටෙන්ඩර් මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර ලබන මස 20 වනදාට පෙර ගල් අඟුරු තොග මෙරටට ගෙන්වා ගැනීමට හැකි වුවහොත් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ පසුගිය වසරේ ලබාදුන් ටෙන්ඩරය යටතේ ඉතිරි ගල් අඟුරු තොගය සහ ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටතේ ගෙන්වා ගත හැකි ගල් අඟුරු තොග කඩිනමින් ගෙන්වා ගැනීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.

ඒ අතරින් පළමු ගල් අඟුරු නෞකාව ඇණවුම් කර ඇති බවත්, එය දින 30ක් ඇතුළත මෙරටට ළඟා වනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක.   

ඉදිරි වසර දෙකක කාලයක් සදහා මෙරටට ගල් අඟුරු සැපයීමට ඉදිරිපත් වූ සමාගම එම ටෙන්ඩරයෙන් ඉවත් වීමට හේතු 03ක් බලපා ඇති බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.  

ගල් අඟුරු නෞකාවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 21ක් පමණ ගෙවිය යුතු බවත්, ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ගල් අඟුරු ගෙන්වීමේදී, ගල් අඟුරු ගොඩබාන අවස්ථාවේදීම අදාළ මුදල් ගෙවිය යුතු බවත් ආචාර්ය විදුර රලපනාව වැඩිදුරටත් පෙන්වා දුන්නා. එය මෙරට ආර්ථික තත්ත්වය යටතේ  වඩාත් අභියෝගාත්මක කරුණක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.