Friday, March 29, 2024

General line - 0115112241

මෙරට ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට යෝජනා




මෙරට තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාවල සඳහන් වනවා.

මේ පිළිබඳව ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ ඒ පිළිබඳ සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙස ද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙසද සංශෝධනය කිරීමට එහිදී යෝජනා කර තිබෙනවා.

එසේම ප්‍රධාන ප්‍රඥප්තියට අමතරව වෙනත් යම් ලිඛිත නීතියක හෝ ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ සාදන ලද යම් නියෝගයක හෝ රීතියක හෝ දැන්වීමක, නිවේදනයක, ගිවිසුමක හෝ වෙනත් ලේඛනයක “තරුණ අය” යන වචන සඳහන් වන සෑම ස්ථානයකින්ම එම වචන ඉවත් කළ යුතු බවටද පනත් කෙටුම්පතේ සඳහන්.

එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති  “මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ට, ගුරුවරයෙකුට හෝ නීත්‍යානුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බවයි” යන්න සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබෙනවා.

23 වන අධිකාරය වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතේ අරමුණ වන්නේ ළමයින්ගේ සහ තරුණයන්ගේ ආරක්ෂාව උදෙසා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම සඳහා බාලවයස්කාර අධිකරණ පිහිටුවීමට නියෝග සෑදීම බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.