Monday, May 20, 2024

General line - 0115112241

චීනය සහ ඉන්දියාව නැතුව ශ්‍රී ලංකාව ණය උඟුලෙන් බේරන්න අමාරුයි - ජපානය කියයි




ශ්‍රී ලංකාවේ විදේශීය ණය ගැටලුව විසදීමට තම රටට කළ හැකි සහ කළ යුතුදේ සිදු කිරීමට සූදානම් බව ජපානය පවසනවා. ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ගැටලුව විසඳීමට නම් අනෙක් ණය හිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද ඊට මැදිහත්විය යුතු බවයි. 

මේ අතර ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්‍රියාදාමයන් ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසා තිබෙනවා. ඒ, ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින්.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ සීමාව “අහස” දක්වා දිවෙන බවයි.

ජපානය මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 9ක ණය මුදල ලබාදීම සදහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවන කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතිනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ. කෙසේවෙතත් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතයුතු පියවරයන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත මුදල් ප්‍රමාද වීම ගැටලුවක් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.