Saturday, April 20, 2024

General line - 0115112241

තෙරපීමෙන් විදේශිකයින් 19 ක් ඇතුළු 151 ක් මියයයි - 2900 ක් අතුරුදන් ලැයිස්තුවේ




දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවීන් සාදයකදී ඇතිවූ තෙරපීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 151 ක් දක්වා මේවනවිට ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට විදේශිකයින් 19 දෙනෙකු ද අයත්. එම විදේශිකයින් අතරට චීනය, ඉරානය, උස්බෙකිස්තානය හා නොර්වේ යන රාජ්‍යවල වැසියන් පිරිසක් ද අයත්.

තුවාල ලැබූ තවත් 100 කට ආසන්න පිරිසක් රෝහල්තව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද  සෝල් බලධාරීන් පවසනවා. 

මේ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ රාත්‍රියේ හැලෝවීන් සාදයට සහභාගී වන බව පවසා පැමිණ ඇති බොහෝ පිරිසක් තවමත් අතුරුදන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අතුරුදන්ව සිටින සිය සමීපතමයින් සොයා ඥාතීන් සෝල් නුවර රෝහල් වෙත පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එලෙස අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි 2900 ක් පමණ පොලීසිය වෙත ඉදිරිපත් වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මේ අතර දකුණූ කොරියානු ජනාධිපති යූන් සොක්යෝල් අද තෙරපීම සිදුවූ ස්ථානයට පැමිණ තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම ඛේදවාචකය සිදු නොවිය යුත්තක් බවයි. එසේම විපතට පත් පුද්ගලයින්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 

පවතින ආපදාකාරී තත්ත්වය පහව යනතුරු දකුණු කොරියාවට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි දකුණූ කොරියානු ජනාධිපති යූන් සොක්යෝල් තීරණය කර ඇත්තේ. එම කාලය අතරතුර සියලු පොදු ස්ථානවල ජාතික ධජය අඩකුඹු කර තැබෙනු ඇති.  

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලෝවීන් සාදයයේදී ඇතිවූ තෙරපුමෙන් මියගිය පුද්ගලයින් බොහෝදෙනෙකුගේ සිරුරු එම ස්ථානයේ මාර්ග අසල තැන්පත් කර තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මියගිය පිරිස අතර කාන්තාවන්ද රැසක් සිටින බවයි විදෙස් මාධය වාර්තා කරන්නේ. මියගිය පිරිසෙන් බොහෝදෙනෙකු අවුරුදු 20 වයස් කාණ්ඩයේ පසුවන්නන්. බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ තෙරපුමත් සමග ඇතිවූ හෘදයාබාධ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන්.