Tuesday, May 21, 2024

General line - 0115112241

විරෝධතාකරුවන් අද කොළඹට - මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පොලීසිය යයි




ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහි අද පස්වරුවේ සංවිධාන කර ඇති ඒකාබද්ධ විරෝධතා පාගමන කිසිසේත් නතර නොකරන බව වෘත්තිය සමිති පවසනවා. ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවයට එරෙහිව මෙම පාගමන සංවිධානය කර ඇති බවයි. 

කෙසේවෙතත් දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව විසින් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබානොදෙන බවට පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඵ්, කොළඹ මධ්‍යම කොට්ඨාශ දෙක දිසාව භාර සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන් දිල්රුක්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින්. ඊට අදාළ ලිපිය විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත හා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වෙතටම ගොස් බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ. 

යෝජිත විරෝධතා රැලිය සහ පෙළපාලිය පැවැත්වෙන කාලසීමාව කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන කාලසීමාවක් වන බැවින් විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තොග වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල විය හැකි බව පොලීසිය පවසනවා.

විරෝධතා රැලිය සහ පෙළපාලිය හේතුවෙන් මාර්ග අවහිර කිරීම් හෝ බාධා සිදුවුවහොත් එම පීඩාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන බවයි පොලීසිය පවසන්නේ. පොලිස් ආඥා පනතේ සහ වෙනත් පවතින නීති යටතේ සහභාගී වන පුද්ගලයින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සිදුවන බව අදාළ ලිපියේ සඳහන්.

එමෙන්ම ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු වනවා. මෙම විරෝධතාවයේදී එවැනි අවසරයක් ලබාගැනීමට කටයුතු කර නොමැති බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.