Tuesday, May 21, 2024

General line - 0115112241

පාස්කු නඩුවෙන් රිෂාඩ් බදුර්දීන් නිදහස් 




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කරනු ලැබුවා.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදායි.

සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ අතර පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ  හානිය වෙනුවෙන් වන්දි  ඉල්ලා වින්දිතයින් විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කරන ලද නඩු 108ක විමසීම සදහා දෙසැම්බර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා අද නියෝග කළා.

මෙම නඩු 108 හි සෙසු විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය නම් කර තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී, විත්තිකාර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස සිය  වගකීම පැහැර හැරීම, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හා රාජකාරිය පැහැර හැරීම තුළින් තමන් වින්දිතයින් බවට පත් වූ බව පවසන වින්දිත පැමිණිලිකරුවන්, ඊට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු  පවරා තිබෙනවා.