Saturday, April 20, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ දරැණු ආහාර අර්බුදයක්




තලේබාන් සංවිධානය බලය අල්ලා ගෙන වසරකට අධික කාලයක් ගතවී ඇති පසුබිමක් තුළ ඇෆ්ගනිස්තානය මේවනවිට දරුණු ආහාර අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.

ඒ ඇෆ්ගනිස්තානය දරුණු ආර්ථික අර්බුදයකට ද මුහුණ දෙමින් ඇති පසුබිමක් තුළයි.

විදෙස් වාර්තාවලට අනුව ඇෆ්ගනිස්තානයේ කුසගින්නෙන් පෙළෙන පිරිස අතර කුඩා දරුවන් ද  වනවා.

ඒ හමුවේ ඇෆ්ගනිස්තානයේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් ඇතැයි Save the Children සංවිධානය අනාවරණ කර තිබෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත් කළ එම අගය සමස්ත ළමුන්ගෙන් සියයට 50 කට ආසන්න වී ඇති බව ද Save the Children සංවිධානය නවතම වාර්තාවක් මගින් අනාවරණ කරනවා.

ඇෆ්ගනිස්තානයේ මන්දපෝෂණයට ගොදුරු වී ඇති මෙන්ම අවදානම් ඛාණ්ඩයේ පසුවන දරුවන් සදහා උපකාර කිරීමට හා දරුවන් දිනපතා සාගතයෙන් මියැදීම වැළැක්වීමට, පවතීන සීමා අනුව උපරිම උත්සහ දැරුව ද පවතින සම්පත් ඒ සදහා ප්‍රමාණවත් නොවන බවයි  Save the Children සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. 

මේ අතර තලේබාන්  පාලනය යටතේ මේවනවිට ඇෆ්ගනිස්තාන වැසියන් මිලියන 23 කට අධික පිරිසක් ආහාර ඇතුලු මූලික අවශ්‍යතා අපේක්ෂාවෙන් පසුවන බව  මානව හිමිකම් සංවිධාන අනාවරණ කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ සමස්ථ ජනගහනයෙන් සියයට 95 කට පමණ ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බවයි එම මානව හිමිකම් සංවිධාන වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.