Friday, May 17, 2024

General line - 0115112241

ගුරුවරුන් 8,000ක් විශ්‍රාම යයි




මෙම වසර අවසන් වන විට ගුරුවරුන් 8,000 ට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

ඒ අනුව විද්‍යා පීඨවලින් පාඨමාලා හැදෑරූවන් පාසැල් වෙත අනියුක්ත කිරීමට නියමිතයි. එසේම දෙසැම්බර් මාසයේ මුල් සතියේ පැවැත්වෙන විභාගයකින් අනතුරුව ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් පත් කිරීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.

එම විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු විභාගය අවසන් වී දින කිහිපයක් ඇතුලත අවසන් කර දෙසැම්බර් මාසය තුළම සම්මුඛ පරීක්ෂණ පවත්වා පුරප්පාඩු සඳහා උපාධිධාරීන් තෝරාගනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව ගුරුවරුන් 4,000 ක් පමණ විශ්‍රාම යාම සිදුවනවා. එහෙත් මීට පෙර විශ්‍රාම යාමේ වයස 65 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මේ වන විට විශ්‍රාම යාමට නියමිත ගුරුවරුන් 8,000 ක් පමණ ප්‍රමාණයක් පාසැල් තුළ සිටින බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.