ජූලි මස පළමු වනදා, අද වාර්ෂික බස් ගාස්තුව සිදුවන දිනයයි. 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 2යි දශම 5කින් අඩු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

එහෙත් එය අද ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට හේතු වූයේ ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදු වීමයි.

ඒ අනුව සියයට 2යි දශම 5කින් අඩු වන බව පැවසූ බස් ගාස්තුව අවසානයේ අඩු කිරීමට සිදු වූයේ සියයට 0යි දශම 5යි 5කින්.

මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමුනා.

එහි නව මිල රුපියල් 289ක්. ඒ අනුව බස් සංගම් පැවසුවේ කිසිසේත්ම සියයට 2යි දශම 5කින් බස් ගාස්තු අඩු වීමක් සිදු කළ නොහැකි බවයි.

මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදුකල නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේ කිසිසේත්ම මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකල නොහැකි බවයි.

කෙසේවෙතත් අද සිට නොව එළැඹෙන 04 වනදා සිට බස් ගාස්තුව සියයට 0යි දශම 5යි 5කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද පස්වරුවේ තීරණය කළා.

එම කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස් ගාස්තු සංශෝධනය අඩු කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් නව සංශෝධනයට අනුව අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු වන්නේ නැහැ.

රුපියලකින් බස් ගාස්තු අඩු වීම ආරම්භ වන්නේ ද රුපියල් 56 බස් ගාස්තුවේ සිටයි. උපරිම බස් ගාස්තුව අඩු වන්නේද රුපියල් 11කින් පමණයි.