Tuesday, December 31, 2024

General line - 0115112241

කරන්දෙණියේ සුද්දාගේ ගෝලයන් තිදෙනෙකු STF අත්අඩංගුවට

ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක




සංවිධානාත්මක අපරාධකුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ ගෝලයන් තිදෙනෙකු ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, කඩු 03 ක්, හෙරොයින් හා ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගෝනපීනුවල පොලිස් වසමේ වරාගස්විල වත්ත, ගෝනපීනුවල ප්‍රදේශයේ සිදු කල වැටලීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට පත් මෙම තිදෙනා හික්කඩුව, රනාල හා ගාල්ල යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 29,33,45 පසුවන පුද්ගලයන් වනවා.

මෙම තිදෙනා සමඟ ඉතාලියේ නිෂ්පාදිත 9 MM වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, මැගසින් 01 ක්, කඩු 03 ක්, හෑස් ඔයිල් ග්‍රෑම් 36 යි මිලි ග්‍රෑම් 10ක්, වියලි ගංජා ග්‍රෑම් 205 ක්, හෙරොයින් ග්‍රෑම් 16 මිලි ග්‍රෑම් 120 ක් සමග ජංගම දුරකථන 04 ක්ද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් විය.

මෙම සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී මොවුන් සංවිධානාත්මක අපරාධකුවෙකු වන කරන්දෙණියේ සුද්දා යන අයගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙහි එක් සැකකරුවෙකු 2014 වර්ෂයේදී පෑනක් හැඩයට සකස්කරන ලද පිස්තෝල ගිණි අවියක් සහිතවද, 2020 වර්ෂයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02ක් සන්තකයේ තබා ගැනීමේ වරදට ද, 2022 වර්ෂයේ කටස් වර්ගයේ පිස්තෝල අවි 02 ක් සන්තකයේ තබාගැනීමේ වරදටද වරදකරුවී ඇති අතර හා මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගයෙකු බවටද තොරතුරු අනාවරණය විය.

මෙහි දෙවන සැකකරු 2013 වර්ෂයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව මහා අධිකරණ නඩු 05ක් සම්බන්ධව විභාග වන බවට ද, තුන්වන සැකකරු කපුවෙකු ලෙස කටයුතු කරන බවටත් පුරා වස්තු කැණීම් කටයුතු සඳහා මන්තර ගුරුකම් කරන පුද්ගයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු ගෝනපීනුවල පොලිස් ස්ථානය සිදු කරනු ලබනවා.