Tuesday, December 31, 2024

General line - 0115112241

මැතිවරණ වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන

උදය කුමාර




පසුගිය ජනාධිපතිවරණය සඳහා තරග කර මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

වංචා විමර්ශන කාර්යාංශය අද ඒ පිළිබඳ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලිවලට අනුව වංචාව විමර්ශන කාර්යාංශය විසින් පැමිණිලි හතකට අදාළව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා. 

වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කළේ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පසුගිය ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් විසින් ජනාධිපතිවරණයේදී තමන් සිදුකළ වියදම් පිළිබඳව ඔක්තෝබර් මස 13 වනදාට වාර්තා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවයි. 

එහෙත් ඇතැම් අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් එම වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් එය 2023 අංක 3 දරණ මැතිවරණ නියාමන වියදම් පනත යටතේ වරදක් බවත් එම නිලධාරින් දන්වා සිටියා. 

මේ පිළිබඳව මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලිවලට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ පැමිණිලි පිළිබඳ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය මාර්තු මස 14 වන දා ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා.