සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහ රහත් ධාතූන් වහන්සේලා ඇතුළු ධාතූන් වහන්සේ සියක් නමක් එකවර වන්දනාකර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ගම්පහ දිවුලපිටිය අවට සැදැහැවතුන්ට ලබන 31 වනදා සිට උදා වනවා.
මෙම අවස්ථාව උදා කර දෙන්නේ දිවුලපිටිය ශ්රී ජෝතිකාරාම විහරස්ථානය විසින්. උදාවන 2025 නව වසරේදී රටටත් ජනතාවටත් සෙත් පතා දිවුලපිටිය ශ්රී ජෝතිකාරාම විහරස්ථානය සංවිධානය කරන මෙම මහා ධාතු නමස්කාරය ලබන 31 වනදා සිට ජනවාරි 03 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ලබන 31 වනදා රාත්රියේ සිට ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහ රහත් ධාතූන් වහන්සේලා ඇතුළු මෙම ධාතූන් වහන්සේ ජෝතිකාරාම විහරස්ථානයට වැඩම කරවනු ලබන්නේ විචිත්රවත් පෙරහැරකින්. ඒ, අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු සම්ප්රදායේ නර්තන කණ්ඩායම් 34 ක් ද සමගයි.
දිවුලපිටිය අවට සියලු පාසැල් හා කලා ආයතනවල දරුවන්ට ද මෙම පෙරහැරේදී සිය දක්ෂතා විදහා දැක්වීමට අවස්ථාවක් උදාකර දී ඇති බවත් මෙය දිවුලපිටිය ඉතිහාසයේ සංවිධානය වන අලංකාරම පෙරහැර වනු ඇති බවත් දිවුලපිටිය ශ්රී ජෝතිකාරාම විහරස්ථාන පෙරහැර සංවිධාන කමිටුවේ ප්රධානී තාරක වීරවර්ධන මහතා පැවසුවා.
ධාතූන් වහන්සේ වැඩම කරවන මෙම විචිත්රවත් පෙරහැර ලබන 31 වනදා පස්වරු 03.00 සිට කොළඹ - කුරුණෑගල අංක 05 ප්රධාන මාර්ගයේ දිවුලපිටිය, ගාලේ හන්දියේ සිට දිවුලපිටිය නගරය හරහා ශ්රී ජෝතිකාරාම විහරස්ථානය වෙත ළඟා වීමට නියමිතයි.