පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (08) නඩුවක් පැවරුවා. ඒ, ඔහු ක‍්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ සිදු වූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන්.
ක‍්‍රීඩා සංගම්වලට බෙදා දීම සඳහා කැරම් බෝඞ් මිල දී ගැනීමේ දී මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුව ඇතැයි සැක කෙරෙනවා. මිල දී ගෙන ඇති කැරම් බෝඞ් සංඛ්‍යාව ආසන්න වශයෙන් දහහතර දහසක්. ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් පන් කෝටි තිස් එක් ලක්ෂයකට ආසන්න වනවා. එවකට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නිශාන්ත ගුණසේකර ද මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසුවේ. නඩුව ලබන 27 වන දා නැවත කැඳවීමට නියමිතයි.