Saturday, February 22, 2025

General line - 0115112241

අල්ලස් නඩුවකින් ඇප ලැබුණත් ඉම්රාන් ඛාන්ට ගෙදර යන්න ඉඩ නොලැබෙයි



පකිස්ථානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට වීඩියෝ හරහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. 

2023 අගෝස්තු මාසයෙන් පසු නඩු කිහිපයකදී සිරගත කල අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

අල්ලස් නඩු සම්බන්ධයෙන් සිරගතව සිටි හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සාධාරණ පදනමක් මත ඇප ලබාදීමට පාකිස්තාන අධිකරණයක් ඊයේ දිනයේ නියෝග කර තිබෙනවා. 

කෙසේ වෙතත් පවතින වෙනත් නඩු සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටින බැවින් ඔහු නිදහස් නොකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මෙම නඩුව බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කරන්නක් වන අතර එම කටයුතු ආවරණය කිරීමට මාධ්‍යයට අවසර ලබා දී නොමැති බවට සඳහන්. 

කෙසේ වෙතත් මෙම නඩු විභාගය මාධ්‍යයට විකාශය කිරීමට ඉඩ නොදීම හේතුවෙන් ජනතාව දැඩි අප්‍රසාදය පල කරන බවයි වාර්තා වන්නේ. 

මේ වන විට 71 හැවිරිදි වියේ පසු වන ඉම්රාන් ඛාන් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජනප්‍රිය දේශපාලන නායකයෙකුද වෙනවා. 

ඉම්රාන් ඛාන් 2018-2022 දක්වා අගමැතිව සිටියදී නීති විරෝධී අනුග්‍රහය සඳහා ඔහුට සහ ඔහුගේ බිරිඳට දේපළ වෙළඳාම්කරුවෙකු විසින් ඉඩම් පරිත්‍යාග කළ බවට චෝදනා මත අධිචෝදනා ගොනු කර තිබෙනවා. 

2022 පාර්ලිමේන්තු ඡන්දයකින් ඔහු බලයෙන් ඉවත් කිරීමට තුඩු දුන් ජාතියේ බලවත් හමුදාව සමඟ ඔහුගේ සබඳතා නරක අතට හැරීමෙන් පසු නෛතික හා දේශපාලන අභියෝග දැක ඇති ඛාන්ට මෙම තීරණය යම් සහනයක් ලබා දෙයි.  

ඉම්රාන් ඛාන් අල්ලස් සම්බන්ධ නඩුවේ සිට බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ ඉස්ලාමීය විවාහ නීති උල්ලංඝණය කිරීම දක්වා විවිධ නඩු හතරකට වරදකරු වී ඇති නමුත්  ඔහු ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසන්නේ මෙය තමන්ව නැවතත් බලයට පත්වීම වළක්වා ගැනීමට දරන උත්සාහයක් බවයි