වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද සිදු වුණා.
ඒ, වියට්නාම ජනාධිපති මන්දිරයේදීයි. එහිදී වියට්නාම ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
අද උදෑසන වියට්නාම ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක් වුණා.
පිළිගැනීමේ උත්සවයේදී දෙරටේ නායකයින් දෙපළ ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගීවලට ගෞරව දැක්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් හඳුන්වා දෙනු ලැබුවා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අවබෝධතා ගිවිසුම් 04කට අත්සන් තබා තිබෙනවා.
යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, කෘෂිකර්ම සහයෝගිතාව ඇතුළු අවබෝධතා ගිවිසුම් 04කටයි එහිදී අත්සන් තබා ඇත්තේ.
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙනවා.
1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගනු ලැබුවා.
ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම, ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී ඇත.
ඉදිරි වසරවලදී ද්විපාර්ශ්වික වෙළඳාම අමෙරිකානු ඩොලර් බිලියන 1ක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයේ ඉලක්කයයි.
මෙම වසරේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන වසර සමරන බැවින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට දෙරට සූදානමින් සිටිනවා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ හනොයිහි යුද විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කළා.
අනතුරුව ජනාධිපති මන්දිරයේ ඇති හෝ චි මිං අනුස්මරණ භූමිය නැරඹූ ජනාධිපතිවරයා නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.