Friday, April 18, 2025

General line - 0115112241

මෙරට වැඩිහිටියන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය



මෙරට සෑම වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහ පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි 2015 වසරේ සිදුකල සමීක්ෂණයේදී අනාවරණ වූයේ අධි රුධිර පීඩනයෙන් පෙලෙන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 09කින් ඉහළ ගොස් ඇති බවයි.  


ආඝාතය, හෘදයාබාධ, හෘද අකර්මන්‍ය වීම, වකුගඩු රෝග වැනි සංකුලතා සහ අවයව අකර්මන්‍ය වීම වැනි සංකූලතා අධි රුධිර පීඩනය හේතුවෙන් සිදුවිය හැකි බවද බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහ පැවසුවා.


මේ අතර ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී තිබෙනවා.

“රුධිර පීඩනය මැන පාලනය කර, සලසමු නිරෝගී දිවියකට මඟ” මෙවර එහි තේමාවයි.

ලෝක අධි රුධිර පීඩන දිනය නිමිත්තෙන් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

එහි එක් වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ දකුණු කළුතර දුම්රිය ස්ථානයේදීයි. 

එහිදී දුම්රිය මගීන්ගේ කැමැත්ත පරිදි අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ අධි රුධිර පීඩනය පරීක්ෂා කිරීම රෝගවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම එහිදී සිදුවුණා.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා අයතනය සහ දකුණු කළුතර දුම්රිය ස්ථානය එක්ව මෙම වැඩසටහන පැවැත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.