Saturday, February 22, 2025

General line - 0115112241

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක්



සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් මෙම වසර තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා රුපියල් මිලියන 1,600ක මුදලක් වෙන් කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඒ යටතේ එක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට නියමිතයි.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙදපළ මෙන්ම අපනයනය ඉළක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණු වනවා.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ සම්බන්ධව සාකච්ඡාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්වුණා.

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් කෘෂිකර්ම නිලධාරින් සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සියලු නිලධාරිහු එක්වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිවී තිබෙනවා.

එමෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් මෙම වසර සඳහා ලබා දීමට නියමිතයි. 

මේ යටතේ එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග, වැවිලි බෝග, මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මෙම ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.