රතුපස්වල ප්‍රදේශවාසීන් පිරිසක් වැලිවේරිය නගරයේදී පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු යුද හමුදා මේපර් ජනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අද නිදොස් කොට නිදහස් කෙරුණා.
ඒ, ගම්පහ මහාධිකරණය විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සිව් දෙනාට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇතැයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී තීන්දු කර තිබෙනවා.
ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බවට පවසමින් රතුපස්වල ප්‍රදේශවාසීන් පිරිසක් 2013 ජූලි මස 27 වැනිදා සිට පුරා දින පහක් විරෝධතාවක නිරත වුණා.
2013 වසරේදී අගෝස්තු පළමු වනදා එම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට යුද හමුදා නිලධාරීන් විසින් පහර දිම් සහ වෙඩි තැබීම් සිදු කර තිබූ බවයි වාර්තා වුණේ.
එම වෙඩි තැබීම්වලින් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මිය ගිය අතර පුද්ගලයන් 50කට වැඩි පිරිසක්ද තුවාල ලබා තිබෙනවා.