Sunday, February 23, 2025

General line - 0115112241

ගංවතුර අවධානමක් පිළිබඳ නිවේදනයක් - පවතින වැසි තත්ත්වය තව දුරටත්

එන් ඒ ඩබ් නිරෝෂන්



ඉදිරි දින කිහිපය තුළදී ඇතිවිය හැකි අධික වර්ෂාපතන තත්ත්වයන් සමඟ දිවයිනේ ඇතැම් ගංඟා ද්‍රෝණි ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ  අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පවසනවා.


දිය පහරවල් හරහා ගමන් කිරීමේ සහ දිය නෑමේදී ද වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ  අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද අළුයම 03 සිට හෙට අළුයම 03 දක්වා මෙම නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය වලංගු වන බවයි.

ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදනය බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය වෙත නිකුත් කර තිබෙන අතර අදියර 01 යටත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල, හපුතලේ, හාලිඇල්ල සහ බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරටද මෙම නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

කොළඹ, කළුතර, කෑගල්ල, ගම්පහ, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

පවතින අධික වර්ෂාවත් සමඟ කඳු ආශ්‍රිත බෑවුම් ප්‍රදේශවල ව්‍යාපාර කටයුතුවල නිරත වන ජනතාව එම ස්ථානවලින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යා ආචාර්ය වසන්ත සේනාධීර ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකලා.


කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් මාර්ගයේ ඇති ගස් යට වාහන නතර කිරීමේදී අවදානයෙන් කටයුතු කරන ලෙසයි රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

පවතින අධික වර්ෂාවත් සමඟ වෙරළ ආසන්නයේ ධීවර කටයුතුවල නිරතවන ධීවර යාත්‍රා අද දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කරන බව ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.